July 24, 2011

අවුරුද්දකට පසුව.

ඔන්න ඉතිං මගේ බ්ලොගේ පටන් අරගෙන අවුරුද්දක් සම්පූර්ණ උනා. ඒ අවුරුද්ද ඇතුලත මේ ලියන්නේ 50 වෙනි පෝස්ට් එක. නමුත් අද නෙමේ ඒ දිනේ යෙදිලා තිබුනේ. මීට සතියකට කලියෙන්. ඒකියන්නේ ගිය 18 වෙනි සදුදාට. මම ඉතිං ඇගිලි ගැන ගැන හිටියේ මේ දිනේ එනකං. බ්ලොගයක් පටන් අරගෙන අවුරුද්දක් ඇතිලත 50 වෙනි පෝස්ට් එක ලියනවා කියන්නේ මටනම් ඇත්තටම ලොකු දෙයක්. මොකද මම එච්චර ලියන්න දක්ෂ කෙනෙක් නොවෙන නිසා.

නමුත් ........................

මට ගිය 18 වෙනිදා ඒ සතුට ඒ ආකාරයෙන් බුක්ති විදින්න ලැබුනේ නෑ. මට ඒ 50 වෙනි පොස්ට් එක හරියටම අවුරුද්ද දවසේ ලියන්න පුළුවන් උනේ නෑ. එදා වෙන කොට අපි කවුරුවත් නොහිතපු දෙයක් සිද්ද උනා.

මේ 16 වෙනි සෙනසුරාදා රෑ මගේ ජංගමයට ලැබුණු දුරකථන පණිවිඩයෙකින් කිය වුණු දේ...

මචං ධනුෂ්කට ඩෙංගු උණ හැදිලා. දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ. සැරින් සැරේ හුස්ම ගන්න එක නතර වෙනවළු.

ඒක ඇහෙද්දිම මගෙත් හුස්ම නතර උනා වගේ. මට කරන්න කියන්න කිසි දෙයක් හිතා ගන්න බැරිව ගියා. මට මේ වෙලාවේ කියන්න කියලා හිටියේ අම්මයි තාත්තයි විතරයි. මම ඒදෙන්නට කීවා.

බය වෙන්න එපා පුතා ඒ ළමයට මුකුත් කරදරයක් වෙන එකක් නෑ. දැන් බේත් එහෙම දෙනවා ඇතිනේ ඉස්පිරිතාලෙන්. ඔයා ගිහින් නිදා ගන්නකෝ.

මම ආයෙත් ඇදට ආවා. මට කීයට නින්ද ගියාද කියලා දන්නේ නෑ. 17 වෙනිදා පාන්දර නැවතත් මගේ ජංගමේ නාද උනා.

මචං ධනුෂ්ක නැති වෙලා.

කොහොමද විශ්වාස කරන්නේ එහෙම දෙයක් උනා කියලා. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.

එදා 18 වෙනිදා මගේ ‍බ්ලොගේට අවුරුද්දක් පිරෙන දවසේ අපිත් එක්ක එකට වැලි කූඩේ කරගහලා දුක සැප බෙදාගෙන හිටිය අපේ මිතුරා අපේ කර මතින් අවසන් ගමන් ගියා.

මචං ධනුශ්ක. හිතට හරිම වේදනයි මචං. ඒත් කරන්න දෙයක් නෑ. අපි හැමෝටම ඔය ගමන යන්න වෙනවා. උනේ උබ අපිට කලින් ගිය එක. උබ අපිට කොයිතරම් හොද මිතුරෙක් උනාද කියලා කියන්න වචං නෑ මචං. තාමත් උබේ කටහඩ ඇහෙනවා බං.

උබට ආයේ අපි අතරම නැවත ඉපදෙන්න කියලා මේ සසරේ බැද තබා ගන්න තරම් අපිට ආත්මාර්ත කාමී වෙන්න බෑ මචං. මතු නිවන් දකිනා තුරා මෙවන් අකල් මරණයන්ට ගොදුරු නෙවේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථානා කරනවා ඇරෙන්න වෙන අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ බං.

මචං ධනුෂ්ක. උබට නිවන් සුව ලැබේවා.

මාව මේ බේලොග් කලාවට කැන්දන් ආපු ගයාන් කණිශ්ක සොයුරාට හා මෙතෙක් ආ ගමන් මගේ මට නන් අයුරින් උදව් උපකාර කල දියළු දෙනාට මගේ හද පිරි ප්‍රනාමය සමග සුතුතිය පුද කරනවා.

July 5, 2011

වෙනස

මීට ටික දවසකට කලියෙන් මගේ බෝම හිතවත් යාළුවෙක් ආවා අපේ ගෙදර. මිනිහා හරි හිත හොද එකා. මොනදේ උනත් ඒ හැම‍දේම මිනිහා මගෙත් එක්ක කියනවා. මෙදා පොටේ මිනියගේ මූනත් අමුතු වෙලා. මොකක් හරි පුරස්ණයක් වගේ. මාත් ඉතින් මිනිහා කියන්න කලියෙන් ඇහුවා "මො‍කෝ බං" කියලා.

"මම ආවේ උබෙන් උපදේශයක් ගන්න."

කියාගෙනම පුටුවකත් වාඩි උනා. ඊට පස්සේ මූනට බොහොම බැරෑරුම් ස්වරූපයක් අරගෙන

"මචං. ඒකාකාරී ජීවිතයකට වෙනසක් දැනෙන්න කරන්න දෙයක් කිපංකෝ ‍කියලා කියපි."

දැන් ඉතිං දීපංකෝ උත්තර. යාළුවෙක් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක උදව්වක් කලේ නැත්නම් ඇති වැඩකුත් නෑ. අනික මගේ තියෙන පාන්ඩිත්වය පෙන්වන්නත් මේ වගේ වෙලා‍වක් ආයේ එන්නෙත් නෑ. මම මූණට බොහොම බැරෑරුම් බවක් අරගෙන
 
"මචං. ජීවිතේ වෙනසක් ඇති කර ගන්නනම් උබ මෙතුවක් ආපු රටාවෙන් මිදියන්. එතකොට හරි."

"ඒ කිව්වේ."

"මෙහෙමනේ බං. දැන් බලපං උදාහරණයක් විදිහට උබ උදේ වැඩට යනවා හැන්දෑමට ගෙදර එනවා. ඇවිල්ලා නෑවා කෑවා නිදා ගත්තා. ඉතිං ඔය අතරට මොකක් හරි දෙයක් එකතු කර ගෙන බලපං.වැඩිය ඕනේ නෑ. බළල් පැටියෙක් ගෙදර ඇති කරපං.ඊට පස්සේ උබ ඌ ගැන හිතතනවා. ඌට කන්න බොන්න දෙනවා, හුරතල් කරනවා. එතකොට උබ මොනයම් හෝ වෙනසකට භාජනය වෙනවා."

"දැන් බලපං මම. කාලෙකට කොන්ඩේ වවනවා. ඊට පස්සේ කපලා ආයේ වවනවා. ඒකත් යම් කිසි වෙනස් කිරීමක්. දැන් බලපං උබ කලින් මාසේ එනකොට මම මේ නිදියන ඇද තිබුණේ මේ අතට නෙමේනේ. මම ඒක අනිත් පැත්තට හැරෙව්වා. ඒ‍කෙනුත් යම් කිසි වෙනක් උනා මචං."

"උබ‍ මේ මම ගැන පොරටෝක් දුන්නා කියලා හිතන්න එපා මචං. මම කීවේ උබටත් පෙනෙන්න තියෙන මම වෙනස් කරපු දේවල් ටිකක්. නැත් නම් හැමදාම එකම වගේනේ බං. උබත් ටිකක් කල්පනා කරලා වෙනසක් කරපං."

කිව්වා විතරයි මිනිහා බර කල්පනවාක. මෙහෙම පැයක් විතර කල්පනා කර කර ඉදලා "මම යනවා බං" කියලා යන්න ගියා.

මෙන්න බොලේ දවස් දෙක තුනකට පස්සේ අපේ ගෙදර එනවා නිකං කුරුල්ලා වගේ

"යමුද බං ටවුම පැත්තේ ආප්පයක් හරි කොත්තුවක් හරි කාලා මොනවා හරි බීලා එන්න. කියපි."

මම උඩ ගිහින් බිම වැටුනේ නැති ටික විතරයි. මෙච්චර සත්ව කරුණාවක් ආවේ කොහෙන්ද මේ යෝදයාට.
"මොකද බං උබට මේ එක පාරටම උනේ."

"උබ කියපු කථාව සහතික ඇත්ත බං."

"මොකද්ද ?."

"උබ උබේ ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න යම් යම් වෙනස් කම් ඇති කර ගත්තේ එක එක දේවල් එකතු කරගෙන හරි නැත්නම් තියෙන දෙයක් වෙනින් විදිහකට වෙනස් කරලා හරිනේ"

"ඉතිං."

"ඉතිං මම කල්පනා කලා ආයේ මොකටද අළුතින් දේවල් එකතු කර ගන්නේ ඈ ........... තියෙන දේවළුත් මොකට වෙනස් කරන්නේ කියලා බං.ඉතිං බං මම දෙයක් අයින් කරලා බළුවා. දැන් මගේ හිත පා‍ වෙනවා වගේ. උබ තමා මාව වෙනස් කලේ යමන් ටවුන් එක පැත්තේ."

"සංතෝසයි බං සංතෝසයි. මම හිතුවේ නෑ බං උබ ඔච්චර වෙනසක් ඇති කර ගනී කියලා."

දැන් අපි දෙන්නම ටවුමට යනවා. මිනිහා සින්දුවකුත් උරුහම් බබා යනවා. ඒත් මට දැන් ‍ලොකු පුරස්නයක් හිතට ආවා මේ යෝදයා මොකද්ද මේ කලේ කියලා.

"ඇත්තට උබ මොකද්ද බං කොලේ."

"වෙන මොනවා කරන්නද බං. මම යාළුවෙලා හිටිය කෙල්ලව අත ඇරියා. බලපං මම දැන් කොච්චර නිදහස් කොල්ලක්ද .........."